හතර පද එකට ගැට ගසන්නට යාන්තමින් හැකියාව තිබෙන ඇත්තන් "කවියකු" ලෙසට කිරුළු පළඳින්නේ ශ්‍රී ලංකාවේ අටෝරාසියක්‌ව පවත්නා ගුවන්විදුලි නාලිකාද හා නොයෙක් පත්ඉරු හරහාය. එක් රැයෙකින් මහා කවීන් බවට පත්වන මේ කුකවීන් ලියන කවිවල පදරුත් දන්නේ ඔවුන් විනා අන්කවරකු නොවේ.
එහෙත් අපේ හෙළ වෙද ඉසිවරුන්ගේ කවි කලාව මේ කුකවින්ට අදටත් අභියෝග එල්ල කරයි. සර්ප දෂ්ඨනයට තම නෑසියකු ගොදුරු වූ විට මේ පණිවිඩය දූතයකු මගින් ගමේ වෙද ඉසිවරයාට දැනුම්දීම එදා පැවැති සිරිතකි. මේ පණිවුඩය රැගෙන එන දූතයාගේ දේහ ලකුණු බලා ඒ දෂ්ඨනයේ බොහෝ තොරතුරු වටහාගැන්මට වෙද ඉසිවරයාට හැකිවිය. ඒ දූත ලක්ෂණ කවි සම්ප්‍රදායය හරහාය.
කවියෙහි එළිසමයත් පදරුත් නිරවුල්වත් තෝරාබේරා ගත් මේ කවීන්ගේ "දූත ලක්ෂණ කවි" පිළිබඳව කෙරෙන විමසුමකි මේ.
අපේ හෙළ වෙදදුරන් දෝ සතර, වෙද සතර මෙන්ම බොහෝ දැන උගත්කම් කෙළ පැමිණිය වුන් වූහ. මහ හඬින් හඬමින් තමන්ට හෝ තම නෑ සියකුට සර්පයකු දෂ්ඨ කළා කියමින් වමතින් උදරයද කසමින් එන තැනත්තකු දුටු පමණින් සර්ප දෂ්ඨනය හඳුනා ගැනීමට වෙද ඉසිවරයා දන්නේ ඉපැරැණි දේහ ලක්‍ෂණ විද්‍යාව පදනම් කොට ගනිමිනි. එයට පදනම් වන වෙද කවිය මෙසේය.
විසගෝර සර්පයා කාපි කියන්නේ එන ලකුණෙන් ගුරුවර විමසන්නේ වමතින් ඔහුගේ උදර කසන්නේ තිරසාරයි කරවලා කියන්නේ
ඉහත ලකුණු සමගින් රෝගියා පිළිබඳ වංහුං පවසන විට සර්පයා කරවලා බව වෙඳදුරා ඉඳුරාම දනී. බොහෝ ගැමියන් අදටත් බියවන නාගයා කුඹුර, කමත, නියර ආදී ගැමියන් යනෙන බොහෝ තැන්හිදී හමු වේ. "අනේ නයිහාමි අපට කරදර නොකර ඇදිලා යන්ටකෝ" කියනු විට ඇදී ගියත් ගොම්මනේ හෝ අහම්බෙන් පයට පෑගුනොත් "නාගවිස" දරන්නට ගැමියන්ට සිදුවෙයි. විෂ අතුරෙන් උග්‍රම විෂක් ලෙසට නයි විස සැලකේ. නාග දෂ්ඨනය දේහ ලකුණු ඇසුරෙන් හඳුනා ගන්නට අපේ ඉපැරැණි වෙද ඉසිවරුන්ට හැකියාව තිබිණ.
බිලිඳකු කැටුවට කතක්‌ද එන් නේ ඇවිදින් මා ළඟ හඬා වැටෙන් නේ මූණ ද පිසිමින් මෙලෙස කියන් නේ රැවුදෙන නයි විසමයි දැනගන් නේ
සිදු වූ විපත්තිය බිලිඳකු වඩාගෙන පැමිණි කාන්තාවක් හඬා වැටෙමින් මුහුණද පිසදමමින් පවසන්නේ නම් ඒ නයි විෂ බව වෙද ඉසිවරුන්ට වටහා ගැන්මට හැකිව තිබිණි.
ලකුණු ඇගේ සොඳ ලෙසට බලන් නේ දකුණු අතින් උගෙ ලමැද කසන් නේ නැගෙන දෙසේ සිට ගෙනම කියන් නේ ලකුණු මෙසේ පොළඟා දැනගන් නේ
පොළඟකු දෂ්ඨ කරන ලද තැනත්තකු පිළිබඳව වෙද ඉසිවරයා වටහා ගන්නේ තවත් අපූරු දේහ ලක්‍ෂණයන් අනුවය. යමකු නැගෙනහිර දෙසට වී විපත්තිය දකුණු අතින් ලමැද කසමින් වෙද ඉසුරන්ට පවසන්නෛa නම් ඒ නිසැකවම පොළඟා බවට සක් සුදක් සේ විෂ වෙද ඉසිවරයා දැන සිටියේය.
මාපිල් විෂ ශරීරගතව ඇති අයකු පිළිබඳව ඉසිවරයා දැනගත්තේ තවත් අපූරු ලෙසටයි. බියෙන් තැතිගත් මිටි මිනිසකු වෙදැදුරා විමසමින් නිවසට විත් ඉණ අතගාමින් විස්‌තර පවසයි නම් ඒ දෂ්ඨනය පිළිබඳ ලකුණු "මාපිල්" විෂ වෙයි.
ත්‍රස්‌ත වූ මිටි මිනිසෙක් දැකගන් නේ ගුරුවරු ගෙදරද කියාන එන් නේ ඉණ අතගාමින් කියයි බොලන් නේ මෙවැනි ලකුණු මාපිලා කියන් නේ
නිසාරුවක් සේ ඇස නොපියන් නේ මුකුළු සිනාසී මට පවසන් නේ ලකුණු බලා සොඳ ලෙසට කියන් නේ එවැනි ලකුණු තෙලිසා දැනගන් නේ
තමන් අබිමුවට එන අමනුස්‌ස ඉතිරියක් ගැමියකු හඳුනාගත්තේ ඇය නෙතු පියහෙළන්නේද යන්න බලා සිටීමෙනි. ඇය නෙතුපිය නොහෙලා නම් නිසැකවම ඇය අමනුස්‌ස ඉතිරියකි.
"නිසාරුවක් සේ ඇස නොපියන් නේ
මුකුස් සිනාසී මට පවසන් නේ"
යන්නෙන් අරුත් ගැන්වෙන්නේ එබඳු ආකාර ඉතිරියක් සිනාසෙමින් අකරතැබ්බය වෙදතුමන්ට ප්‍රකාශ කරන්නේ නම් නිසැකයෙන් තෙලිසා වන බවය. නවදැලි හේන්වල මෙන්ම ගිනිලන්නට හේන් පිරිසිදු කරන විටද තෙලිසා ගේ දෂ්ඨනයට බොහෝ ගැමියන් ලක් වේ. උග්‍ර වේදනාවක් උහුලන්නට සිදුවන මේ දෂ්ඨනයට තෙල්සාත්තු අදටත් ගම්බදව තිබේ.
"මරණය" කිසිම ජගතකුට වියතකුට පඬිවරයකුට පමා කළ හැක්‌කක්‌ද නොවේ. ඇතැම් රුදු සපුන්ගේ දෂ්ඨනය මාරාන්තික වෙයි. තෙල් පත්තු මන්ත්‍ර හෝ මැල්ලුම් නස්‌න යන කිසිවකින් මේ විෂ සිඳලිය නොහැක්‌කේ මරුකලාව දෂ්ඨනය හා යාව පවත්නා හෙයිනි. ප්‍රභාසම්පන්න වෙද ඉසිවරයකුට මේ විපත්තිය පණිවිඩකරුගේ දේහ ලක්‍ෂණ වලින් වටහාගත හැකිය.
නරදුටු මිනිසෙක් එයි ලසිනේ යා කම්මුල කසමින් කියයි සොඳේ යා එවැනි ලකුණු දුටුහොත් ලසිනේ යා තිරසාරෙන්ම ම මිනි ලකුණේ යා
මියගිය ප්‍රාණකාරයෙක් දුටු තැනැත්තෙකු ලෙස විගසින් පැමිණි පණිවිඩකරු කම්මුල කසමින් විපත්තිය වෙද හට ප්‍රකාශ කරන විටදී "සිදුවී ඇති සියල්ල" එතුමාණෝ වටහාගෙන හමාරය.
ගෙමැඩියන් උග්‍ර විස සහිත නොවූවත් ගෘහවාසියකු වන අවස්‌ථා ගම්බද නිවෙස්‌වල එමට දැකගත හැකිය. අහම්බයකින් හෝ රාත්‍රියේදී ගොම්මනේදී ගෙමැඩියකු ද සර්පයකු ලෙසට ගැමියාට දැනෙන්නට හැක්‌කේය. ඒ සපුවා මොකෙක්‌දැයි හඳුනා ගැනීමට ඇති අසීරුව නිසාය. එහෙත් දූතයා විමසීමෙන් වෙදදුරුට ඒ කාරිය කළ හැක්‌කේමය.
ඇවිත් සිටම ඔහු උදර කසන් නේ තැනක නොසිට ඇවිදිති දැනගන් නේ බොහෝ දුකකි ගුරුවරුනි කියන් නේ තිරසාරෙන් ගෙමැඩියාය කියන් නේ
උකුලත අතගාමින් පවසන් නේ පමා නැතුව යං ගුරුනි කියන් නේ සතුරු බසක් වේ දුවගෙන එන් නේ තිරසාරෙන් ගෙමැඩියාය කියන් නේ
කුඩා දරුවන් අහසේ තරුත් මුහුදේ මඩත් ඔසු ලෙසට අවශ්‍ය යෑයි සිතන්නේ සිඝනල් විසටය. සර්ප විෂ නිසන්ධුවෙයි සිකනලා පිළිබඳවද සඳහන් වෙයි. සිකනල් දෂ්ඨනයක, සපාකෑමක තොරතුරු නිවැරැදිව වෙදදුරා දැනගන්නේ දූත ලක්‍ෂණයන්ගෙනි.
උකුලත අත ගසමින් පවසන් නේ පමා නැතුව යන් ගුරුනි කියන් නේ සතුරු බසත් මේ දුවගෙන එන් නේ අසා ලකුණු සිකනලෙකි බොලන් නේ
කෘන්තක දත් සමගින් ගොවීන්ට ඉසරදයක් වන මූසිකයන් ගැමියන්ගේ බව භෝග වලට නිතොර අනතුරු කරයි. මූසිකයන්ට එරෙහිව සටන් වදින්නටද ගොවියන්ට සිදුව ඇත්තේ එහෙයින්මය. අහම්බෙන් නොදැනුවත්ව මීයෙකු දෂ්ඨනයකට ගොදුරුවුවහොත් ගමේ වෙදමහත්තයා වෙත දිවයැම සිදුකරන්නේ දූතයෙකි. ඒ "සපුවා" හරිහැටි හඳුනා ගැනීමට නොහැකි නිසාමය.
දෙවැල මිටත් කසමින්ය කියන් නේ දෙපය කසා සිටගෙනමැ කියන් නේ අධික ගායටයි ගුරුනි කියන් නේ ගත්කුනි මී විසමයි දැනගන් නේ
සාමාන්‍ය ගැමියන් සමගින් ඔවුනගේ දුකසැප ඔවුන් සමගින්ම බෙදාහදා ගනිමින් අපිස් දිවියක් අදටත් ගතකරන මේ මහා දැනුම් සම්භාරයක් සහිත වෙද ඉසිවරුන් මේ "වෙද කම්" තමන්ගේ පරපුරෙන් පරපුරට ගෙන ආවේ තමන් සමඟම වෙසෙන දුගී දුප්පත් අහිංසක ගැමියන්ට සෙත් සාන්ති සලසනු සඳහාමය. මේ "දැනුම් කෝෂය" සංරක්‍ෂණය කිරීම අතිශයින්ම වැදගත් වන්නේ ඔවුqන්ගේ ඥාන සම්භාරය මතු පරපුරටත් උරුම කර දියයුතු නිසාමය.
ඩබ්ලිව්. ඒ. සරත්චන්ද්‍ර
(සමාජ විද්‍යාව පිළිබඳ හිටපු කථිකාචාර්ය)
No comments:
Post a Comment